අංශභාග රෝගී තත්ත්වයට මුහුණ පා සිටි දෙහිවල “ජෙනිෆර්” ට සුවයි..🐎🤗
Автор: Department of National Zoological Gardens - SL
Загружено: 2023-05-18
Просмотров: 41
දෙහිවල සත්වෝද්‍යානයේ වෛද්‍ය කණ්ඩායමේ නොපසුබට උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස, අංශභාග රෝගී තත්ත්වය හේතුකොටගෙන එක්තැන්ව සිටි “ජෙනිෆර්” නම් බූරු මව දැන් සතරපයින් නැගි සිටියි.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත්, දෙහිවල සත්වෝද්‍යානයේ ජීවත් වන “ජෙනිෆර්” නම් බූරු මව පැටවුන් 5ක් සත්වෝද්‍යානය වෙත දායාද කර තිබූ අතර, ඇයගේ 6 වන දරු ප්‍රසූතිය 2023 වසරේ ජනවාරි මාසයට යෙදී තිබුණි. නමුත් පැටවාගේ වර්ධනයේ ඇතිව තිබූ අසාමාන්‍යතාවයක් හේතුකොටගෙන ජෙනිෆර් මවහට 2023.01.12 වන දින සංකීර්ණ දරු ප්‍රසූතියකට මුහුණ දීමට සිදු වූ අතර, පැටවා ඒ වන විටත් කුස තුල මියගොස් සිටි හෙයින් "ජෙනිෆර්" ගේ ජීවිතය බේරා ගැනීම සඳහා දෙහිවල සත්වෝද්‍යානයේ වෛද්‍ය කණ්ඩායම විසින් ඇයව හදිසි සිසේරියන් සැත්කමකට භාජනය කරන ලදී.
මෙම සංකීර්ණ හා දීර්ඝ ප්‍රසූතියේ සංකූලතාවයක් වශයෙන් ස්නායු තෙරපීමකට ලක්වීම හේතුකොටගෙන “ජෙනිෆර්” මවට ඇවිදීමට හෝ අවම වශයෙන් සිටගැනීමට නොහැකිව අංශභාග රෝගී තත්ත්වයට ගොදුරු වූවාය. එහිදී ඇයට එක්තැන්ව සිටීම නිසා තුවාල පවා (bedsores) හටගැනුණි.
නමුත් වෛද්‍ය කණ්ඩායම ඇතුළු සමස්ත රෝහල් කණිෂ්ඨ කාර්‍යමණ්ඩලයේ සියලු දෙනා සෑම අවස්ථාවක දීම ඇයගේ සුවපහසුව, පවිත්‍රතාවය පිලිබද අතිශයින් සැලකිලිමත්ව ක්‍රියා කළ අතර, එක්තැන්ව වැතිර සිටීමට නොදී ඇයව සතර පයින් නැගි සිටුවීමට අවශ්‍ය වෙදකම සේම හෙදකමත් සිදු කරන ලදී. එහිදී, ඇයට අවශ්‍ය අධෝරක්ත විකිරණ චිකිත්සාව (IR Therapy) සහ භෞත චිකිත්සාව (physiotherapy) මඟින් ස්නායු උත්තේජන කරමින් ඇයගේ මාංශ පේෂි දුර්වල වීමට ඉඩ නොදී ක්‍රියාකාරි මට්ටමේ පවත්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලදී.
එමෙන්ම, ඇයට සතරපයින් නැගී සිටීම සඳහා ආධාරකයක් ලෙස, පවතින සම්පත් යොදා ගනිමින් එසවුම් පටි ආධාරකයක් (Harness) නිර්මාණය කරන ලදී. පිටුපස පාද ක්‍රියාකාරි මට්ටමේ නොපැවති "ජෙනිෆර්" මව gantry system එකකට යා කරන ලද හානස් මෙවලම ආධාරයෙන් නගා සිටවූ අතර, ඇයගේ පා චලනයන් සිදු කරවීම සඳහා සීමාවාසික පශුවෛද්‍යවරුන් කැපවීමෙන් යුතුව දෛනිකව පැය කිහිපයක් ව්‍යායාම සිදු කලහ. එහිදී ඔවුන්ගේ පාද සහ ජෙනිෆර් මවගේ පාද එකට ගැට ගසා තබා ගනිමින් බූරු මවගේ පාද කෘතිමව චලනය කරවමින් ඇවිදීමට සලස්වන ලදී. එමඟින් ඇයට තම මාංශ පේෂීන් ක්‍රියාකාරී මට්ටමේ පවත්වා ගැනිමට අවශ්‍ය සහය ලබා දීමට හැකි විය.
මෙම ක්‍රියාවලියේදී රෙද්දක ආධාරයෙන් නිර්මාණය කරන ලද ප්‍රාථමික මට්ටමේ පැවති හානස් ආධාරකයේ පැවති දුර්වලතාවයන් හඳුනාගත් අතර, ජෙනිෆර් මවට අවශ්‍ය සියලු ප්‍රතිකාර සිදු කරන අතරම ඇයගේ හානස් ආධාරකය නැවත ප්‍රතිනිර්මාණය කිරීම කඩිනමින් සිදු කරන ලදී.
සුපරීක්ශාකාරීව අත්හදා බලමින් විදේශයන්හි භාවිතයට ගන්නා හානස් නිරතුරුව අධ්‍යයනය කරමින් පියවරෙන් පියවර වැඩි දියුණු කරමින්, ඇයගේ ශරීරයට ගැලපෙන හා සුව පහසුව ප්‍රශස්ත මට්ටමේ පවතින හානස් එකක් නිර්මාණය කර ගැනීමට හැකියාව ලැබුණි. ඒ අනුව දිනකට දෙවරක් හානස් එක ආධාරයෙන් ඇයව නගා සිටුවා අවශ්‍ය භෞත චිකිත්සක ප්‍රතිකාර මෙන්ම සෙසු සියලු ප්‍රතිකාර සිදු කරන ලදී. තවද මෙම සත්වයාගේ පෝෂණ අවශ්‍යතා උපරිමයෙන් සලසාලමින් ඇය සඳහා අවශ්‍ය විටමින, ඛනිජ ලවණ ආදී පෝෂණ අතිරේක ලබා දීම අඛණ්ඩව සිදු කරන ලදී.
මේ ආකාරයෙන් දෙහිවල සත්වෝද්‍යානයේ වෛද්‍ය කණ්ඩායමේ අප්‍රතිහත උත්සාහය හා කැපවීම මත නිසි ප්‍රතිකාර ලැබූ “ජෙනිෆර්” බූරු මව අද සතරපයින් නැගී සිට තමන්ගේ ආහාර ලබා ගැනීම සිදු කරනු ලබයි.
මෙම කාර්යය වඩාත් සාර්ථක කර ගැනීම සඳහා සහාය දුන්,
➡️ Pet Physio ආයතනයේ කසුන් තාරක මයා ඇතුලු සියලුම දෙනාටත්,
➡️ හානස් මෙවලම නිර්මාණය කර ගැනීම සඳහා මූල්‍යමය ආධාර ලබා දුන් කමනි තල්පාවිල මැතිණිය ඇතුළු ස්වාමිපුරුෂයා හා දූ දරුවන් සියලු දෙනාටත්,
➡️ දෙහිවල සත්වෝද්‍යානයේ සත්ත්ව රෝහලේ පශු වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමත්, සියලුම නිලධාරින් හා සේවක මංඩලය වෙතත්,
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වශයෙන් සිය විශේෂ ස්තුතිය පළ කර සිටිමු.🤗
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: